Wednesday, December 20, 2023

අන්ස්ටේබල් ජම්ප්

 දේදුන්නක පාට අරන් පියෑඹීමි එයට උඩින්..



ජීවිතේ ගොඩක්ම ආසම කරපු, ආදරය කරපු, මාව ඉහලටම ගෙනගිය මගේ ආදරණීය කමාන්ඩෝ රෙජිමේන්තුව. ඔව් මෙය මගේ දෙවන නවාතැන්පලයි. ජීවිතය උගත් විශ්ව විද්‍යාලයයි. එහි මා බොහෝ මිනිසුන් හඳුනා ගතිමි. බොහෝ හොඳ මහත්වරුන් අතර, ජිවිතයට රහසින් පන්නරය ලබාදුන් බොහෝ නරක අයද වූහ. ඒ බොහෝ නරක චරිත මගේ ඉදිරි ගමනේ ජීවයම විය. ඔවුන් සැම විට මා හට දිනන්නට ඇවසි සවිය සැපයුවන් විය..

වර්ෂ දෙදහස් එකේ .......දින 

ස්ථානය කටුකුරුන්ද ගුවන් හමුදා ධාවන පථයට අඩි දස දහසක් ඉහල වලාකුලින් තොරවු අහස් කුස අතර, ගුවන් පතයට සමාන්තරව මුහුද දෙසට පියාසර කරන Y12 වර්ගයේ ගුවන් යානාව තුල. මේ මා නිදහස් ආර පැරෂුට් පාඨමාලාව අවසන් කිරිමෙන් පසුව යන්තම් වසරක් කිහිපයක් ගෙවුන කාලයයි.

ජම්ප් මාස්ටර්* පැරෂුට් භටයින් ගුවනට යොමු කරන්නා.

පකිස්ථාන් ජම්ප් මාස්ටර් පාඨමාලාව හදාරා පැමිණි බැවින් ඒ නිසාම පැරෂුට් පුහුණු අංශය භාර නිලධාරි අණදෙන වූවෙකි. ඔහුම උපදේශක වෙමින් පැරෂුට් ඇසිරීමේ හා නඩත්තු කිරිමේ (රිගර් පාඨමාලාව) පුහුණුව ලැබ ඔහුගේ අධික්ෂණයෙන් කල  පරික්ෂණයන් අවසන රිගර් වරයෙක් වු ඔහුගේ මේ වෑයම නිදහස් ආර පැරෂුට් භඨයෙකු වීමයි.

එහි සිටිය පැරෂුට් අංශ උපදේශකයන්ට අනුව ඔහුට ඒ සඳහා උපදෙස් දීමට අයෙකු නොවිය. ඒ දිමට අය නැති නිසා නොව. ඔහු උපදෙස් ගැනිමට වැඩි කැමැත්තක් නොදැක්වූ නිසාය. ඔහුගේ වචනයෙන් ඔහුට ගුරුන් ඔහුම විය..

ගුවන් පථය අවසානයේ වන ගොහොරු තණ බිම පසුකර හමුවන ගෙවල් ක්‍රිස්තියානි පල්ලිය හා උතුරේ සිට වෙරළ තීරයට සමාන්තරව දිවෙන දුම්රිය මාර්ගය පසු වනවාත් සමගම පිළිවෙලට පැරෂුට් භටයන් හිස් වාතලය වෙත නික්මෙන්න විය. ️එය වචනයෙන් කිව නොහැකි තරමට චමත්කාර වූ අවස්ථාවක් නොට්ස් එකසිය විස්සක පමණ වේගයෙන් ප්‍රථිවිරුද්දව හමන නොට්ස් අටත් දහයත් අතර සුළඟට සිය සිරුර සමබර කරමින් ගුවනට නික්මීම යනු සැබැවින්ම අපුර්ව අත්දැකිමකි.

කඩා හැලෙන තරමට සැහැල්ලු ඉරියව්වක සමබරව හිස මදක් ගුවන් යානාවේ තට්ටේ වේගයෙන් කැරකෙන රොටරයට සමපාතව දෙනෙත් තබාගෙන නික්මීමෙන් ලබාගත හැකි සුමට නික්මීම *Exit සමග තප්පර දෙකක් පමණ ගුවන්‍ යානාව යන දෙසට කෙරෙන ඇදගෙන යාම * Forward Throw සමග වන පහලට වැටිම සමග සිරුර සමබරව සමපාත කිරිමට නිර්භීත වන්නා හට සැබැවින්ම හිමිවන්නේ මෘදු නිදහසේ වැටිමකි.

අසිමිත ආශාව හා ලබා නොදීම මතින් ලබා ගැනිම එය මා සතුකර ගැනීමේ දැඩි අදිඨන වූ නිසාම මාකල පුහුණුව දෙවියන් මා සමග සිටීම නිසා මාගේ පැරෂුට් පැනීම් දිවියේ දහසකට වැඩි පැනුම් වාර අතර අමතක නොවන එක් වාරයක් හැර අනෙක් සෑම පැනිමක්ම සුමට සමබර නිදහසේ වූ වැටීම් විය. (එයට මුල් කාලයේ උපදේශක නිරික්ෂණය කල පාදය ස්ථාවර නොවු පැනීම් කිහිපයක් වූවත් එය අසමබර ඉරියව්වක් නොවු නිසා පසුව එය නිවැරදි කර ගත හැකි විය).

මා මගේ පිම්ම ලබාගෙන නිදහසේ වැටෙමින් අවට බලමින් පැයට සැතපුම් එකසිය විස්සක පමණ වේගයකින් වාතයේ උඩුකුරු තෙරපුමට සමපාත වෙමින් පාවෙමින් සිටිමි. පැනිම් කන්ඩායමේ සිටි එකම පුහුණු නිලධාරියා වු මා  ඉහත පුහුණුව ලබන පැරෂුට් අංශ භාර නිළධාරි අනදෙන වූ කපිතාන් වරයාට පසුපසින් අවසානයට ගුවනට නික්මුන කෙනා වූහ.

මට පහලින් අයෙක් ෆෑන් පෙත්තක් සේ වේගයෙන් කරකැවෙමින් සිටි. සැබැවින්ම මා ඔහුට වඩා අඩි සියයක් පමණ ඉහලින් පැත්තෙන් නිදහසේ වැටෙමින් සිටි අතර අසාමාන්‍යව කැරකෙන මේ පැරෂුට් භටයා  විශාල ඇමරිකානු මිලිටරි HAHO පැරෂුටයක් කරලා මට කලින් ගුවනට නික්මූ කෙනා බව  මා හඳුනා ගතිමි. නමුත් මට එකල මගේ අත්දැකීම් අනුව එය බලා සිටීම මිස කල හැකි යමක් නොවුනි.

එකම පසකට වේගයෙන් කැර කැවිම හා ගුවනේ රෝල් වෙමින් තල්ලු විම අඩි පන්දහසක් පමණ ඒමේදි නිවැරදි වුයේ ඔහුගේ සිරුර සම්පුර්ණයෙන්ම උඩුබැලි අතට හැරි. (Up Side Down) ලෙස දෑත් දෙපා පහලට කඩා වැටිම නිසාය. ඒ ඔහුගේ අධික කැරකැවිම නිසා වූ සිහි මුර්ජා විමක් නිසායැයි සිතුනේ උඩුබැලි අතට සිටිනා ඔහුගේ දෑත් දෙපා පහලට කඩාවැටි ඇති අන්දම දුවුව නිසාය. මා හට ගුවනේ දී හීක් ගෑවුනේ එවන් අත්දැකිමක් මා දැක නොතිබුන නිසාය. මට කල හැකි දෙයක් නැත කරන්න දන්නා දෙයක්ද නැත. තවත් තප්පර පහක පමණ කාලයකදි ඔහුගේ ස්වයංක්‍රීය පැරෂුට් විවර කිරිමේ යන්ත්‍රය ක්‍රියාත්මක විය. (එකල එසේ ක්‍රියාත්මක වීම යනු තවදුරටත් පැනිම් සිදු කිරිමට ඉඩ නොදිම ප්‍රථිපත්තියක් වූ කාලයකි එය අන්තර් ජාතිකවද පැනුම් කරුගේ ජීවිත ආරක්ෂාව තකා නිර්මාණය වූ නිතියකි). මේ විනිසුරු විත්තිකුඩුවට නැග ඇති නිතියේ දෙවඟන ඔවුන්ගේ මට්ටමින් කෙලෙසන කාලයයි.

ඔහුගේ පැරෂුටය ප්‍රථිවිරුද්ධ සුලං දාරාව හා ගැටි අහසේ රඳවා ගනිත්දි තවත් තප්පර පහක කාලයක් නිදහසේ වැටෙමින් මා මගේ පැරෂුටය අඩි තුන් දහසේ උසකදී විවෘත කරගෙන පහලට පැමිණ මෘදු ගොඩබැසීමක් ලබාගතිමි. ඒ අවට ඒවන විට මට පෙර ගුවනට නික්ම  පැරෂුට් වලින් ගොඩ බැස සිටි කිහිප දෙනෙක් විය.

" එයි කැප්ටන් ####### ගේ ඔටෝ රිලිස්  එක ගියා"

ඒ වචන පෙල නිමා කරන්නට පෙර ජ්‍යේෂ්ඨ නිදහස් ආර පැරෂුට් භටයකු වූ සැරයන් වීරසිංහ එස් මා අසලට දිව එන්න විය.

" බුදු සර් කට වරද්ද ගන්න එපා ඕක අද නෙවේ එයා පනින්න පටන් ගත්ත දවසේ ඉදන් නොවෙන්නේ එහෙමත් දවසක. ඒ වුනාට ඔහොම බලන් ඉන්න"

ඔහූ ගුවන් ධාවන පථයේ කෙලවර පතිත වීම ලබා ගනිත්දී සිය නිළධාරි අණදෙන වෙත අශ්වයා නම් රිගර් වරයා දිව ගියේය.

හයේ හතරේ  කමාන්ඩෝ වරයෙකු වු මේ උපදේශක රිගර් වරයා සිය නිලධාරි අණදෙනගේ පැරෂුටය කරගසා ගෙන එයි.(සාමාන්‍යයෙන් පිළිවෙත තමාට ජිවය දුන් පැරෂුටය නිසිලෙස එකලස් කරන් පැරෂුට් අසුරණ තැනට ගෙන ඒම පැනුම් කරු කලයුතු වූවත්, මෙහි සැම අනෙක් පසට සිදුවෙයි. සිනහා වෙමින් සිය ඕවර්ල් එකේ පිටි පස මඩ වලින් අපවිත්‍ර වුන පෙදෙස වසන් කිරිමට එය අතින් ගසමින් කිසිත් නොවු ගානට එන නිළධාරියා පිටුපසින් එන අශ්වයා..

" සර් කිව්වට ඔටෝ රිලිස් එක ගිහින් තිබුනේ නෑ"

මා දෙස බලා මා වැරදි කරු කරමින් හඩ නගා පවසත්දි එයට පිළිතුරු බැඳීමට මුව විවර වුවද මාදෙස බලාගෙන සිටි සැරයන් විරසිංහ හිසින් එපා යැයි කියනු දැක මා කටට ආ වදන් ගිල ගතිමි.

"වීරසිංහයෝ මම හොදටම දැක්ක බං ඔටෝ එක යනවා එතකොට මම අල්‍ටි මිටරේ * (පොලව මට්ටමේ සිට උස පෙන්වන උපකරණය). බැලුව අඩි හාරදාහ පහුකරන් ගිටියේ "

" සර් අශ්වයා එතනට දුවන්නේ කොකින් හැඩ්ල් එක අරන් ගිහින් ඒක කොක් කරලා අරන් එන්නේ  ඔටෝ එක නොගිය විදිහට..

මගේ හිතේ ඔවුන් කල හොර වැඩය ගැන ගැටළුවක් නොවුනේ ඒ ඔවුන්ගේ සැබෑම   පිළිවෙත බව දන්නා නිසාය. නමුත් මගේ හිතේ හොල්මන් කරන එක් සිදුවීමක් විය. එය නිරාකරණය කර ගත යුතුමය. ජ්‍යේෂ්ඨ තාවය හා එකල පැරෂුට් අංශය මෙහෙයවු අයගේ හිතවත් කමත් ජනප්‍රිය වෙමින් සිටි කපිතාන් ඥාණතිලක මැඩලීම උදෙසාත් හැදු නිළධාරි බලමුළුවෙන් පකිස්ථාන් රිගර් පාඨමාලාව මැසීමට කම්මැලි නිසා දෙවනියාවි ජම්ප් මාස්ටර් පාඨමාලාව පලවෙනියා වූ බව කියන මේජර් වරයා එකල අපි දන්න සියල්ල දත්තා විය. කර්නල් සමන්ත සුරියබන්ඩාරගෙන් පසුව මේ රාජධානියේ සියල්ල දත්තා ඔහු විය. එකල මාද එසේ සිතුවෙමි. ඉතිං මගේ පැනය ඔහු පැරෂුට් පැනීම් සඳහා පැමිණි මා එම අංශය භාරගත් මුල් කාලයේ විමසිය.

" සර්  ජම්පර් කෙනෙක් එක්සිට් වෙලා අන්ස්ටේබල් * අසමබර ඉරියව්වේ පහලට වැටෙනව යම් දුරකදි ඒ ජම්පර් අන්කොන්සස් වෙනව.

*සිහි මුර්ජා තත්වයට. ඒත් එක්කම  ඔටෝ රිලිස් එකත් යනවා. හැබැයි පැරෂුට් එක ඕපන් වෙන්නේ නෑ මැල් ෆන්ෂන් * ක්‍රියා විරහිතයි.

සර් ඒ ජම්පර් එතකොට අනතුරකට වැටෙනවා නේද.?

මේ කාලයේ ඒ බොහෝ දැන උගත්තුන් මුල්ම කාලයේ සිට මේ MCH iiiA නම් මිලිටරි පැරෂුටයේ ස්වයං ක්‍රීය පැරෂුට් විවෘත කරවනය සකස් කර තිබුනේ අඩි හාර දහසේ උසක ස්වයංක්‍රීයව ප්‍රධාන පැරෂුටය විවර වීමටය.

ඔහු බොහෝ විට ඔහු අර්ධව දන්නා පැනයකට පිළිතුරු දිමේදි (එය මා ඔහු හා සිටි කාලය තුල හැදිනගත්තක්) නගන කපටි සිනහව දත් විලිස්ස නගා මා දෙස බලා .

"ඒක අඩි එක්දහස් පන්සීයට තියන්න"

කියා උපදෙස් ලබා දුනි.



සැබැවින්ම මගේ බලපොරත්තුව වූයේ පරිනත වෙමින් සිටි මාහට බොහෝ පරිනත සියළුදේ කෙල පැමිණි බව පවසන මොහු ඒ ස්වයංක්‍රීය පැරෂුට් විවෘත කරනය අමතර පැරෂුටය වෙත සම්භන්ධ කරන්නට කියා පවසයි කියාය. නමුත් එසේ නොවිය. මෙය මිනිස් ජීවිත හා සම්භන්ධ ක්‍රියාවක් නිසා මා එය පරිනත උපදෙස් වලින් පරිභාහිරව කරන්නටද නොවේහෙසුනෙමි.

ඉහත සිදුවීම් දෙක මූනට පෙන්වන හිතවත් කම යටින් කෙරෙනා කෙනහිලි කම් ගොඩක ආරම්භය විය..

මේ කතාව බොහෝ දුර දිරියෙන් සෑබෑම කැපවිමෙන් බොහෝ වු  කකුලෙන් කරනා ඇදීම් කැපීමි ඉර්ශ්‍යාවන්ට ලක් වීම් බාස්කට් බෝල් පිටියක පැරෂුට් ඇද වැතිරුන නිදහස් ආර භටයන්ගේ චායා රූපයක් කමාන්ඩෝ බඳවා ගැනීමේ පොස්ටරයක සිට සැබෑවට අහසේ පෙලහර පෑ පැරෂුට් භටයන්ගේ රූප දළ සේයා පටයන්ට නැගිම සජිව පටිගත කිරීම් දක්වා ගෙන ආ මගේ හමුදා ජිවිතයේ සැබෑම පෙර කිසිවෙකුට නොකි අත්දැකීම් මගේ ජීවිත කතාව ලෙස අග්නියට සිතුවම් කරන්නට සිතුවෙමි. මේ මගේ ජීවයට පන්නරය දුන් මගේම කතාවයි.

මාහා විශ්වාසයෙන් රැඳී උන් මට ආදරය කල අය සඳහා ලඟදීම මා එය ගෙන එන්නම්.. 

මා ඔබට මෙසේ කියමි.

"ඔබ යමකට ආශා කරන්නේ නම් එය ලඟා කර ගැනීමට කැපවෙන්න වෙහෙසෙන්න එසේ ලඟා කරගන්නා තමා දිනා ගැනීමට ආශාකරන දෙය ලැබිමේ මිහිර තවෙකෙකුගේ පිහිටෙන් නිකම්ම ලබා ගත් හෝ ලැබේයැයි සිතා සිටින දෙයට වඩා බොහෝ වටින්නේය".

බන්දේසියේ තබා දුන් දෙයට වඩා තම උත්සාහයෙන් මහන්සියෙන් ලද දේ මිහිරිය. එහි මිහිරි පහස ඔබට ඔබ මියදෙන තෙක්ම විඳීමට හැකිය.

මා එය විඳීමි. ඔබේ ජීවිතයට මගේ කතාව පුර්වාදර්ශයක් වේයැයි සිතමි.

එන්න මා හා නිල්වන් අහසේ සැරිසරන්න..

මේ බොහෝ දුක් මැඳ මා දිනු ලොව ගැන මගේම කතාවයි..

No comments:

Post a Comment

ඔබේ අදහස සටහන් කරන්න

Search This Blog

Followers